සදාකාලික ජීවිත!

ජීවිතං අනියතං
මරණං නියතං
එතකං ජීවිතං
ජොලියෙන් ගතකරං

මේ කතාව හුගාක් ඉස්සර කවුරු හරි කිව්ව කතාවක්, ඒත් ඇත්තක් නැත්තේම නැහැ, ජීවත් වෙන්න ඕන ක්‍රමය කේසේ වෙතත් ජීවිතේ අනිත්‍යයි කියන එක අඩුවක් නැතිව කියලා තියනව නොවැ, අපි හැම කෙනාගේම ජීවිතත් මේන්න මේ කියන අනිත්‍යයට යටයි, කවුරු හරි හිතනවනම් ‍මේ ජීවිත අපේමයි අපිට ඕන කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා, ඒක සම්පුර්ණයෙන්ම වැරදියි, මේ එකත් එකටම අපේ තාවකාලික නවාතැනක් විතරයි, මේ ශරීරය අපිට තාවකාලිකව ලැබුණු දෙයක්, ඒ කියන්නේ අපි කරපු කුශල කර්ම වල බලයෙන් අපිට ලැබුණු තෑග්ගක් මේක, මේ ශරීරය භාවිතා කරල හරි හමං දෙයක් කරගත්තේ නැත්තම් ඊලගට අපිට ලැබෙන ශරීර කුඩුව මොනවගේ වෙයිද කියලා අපිට හිතාගන්නවත් බැරිවෙයි, අද සමාජය දිහා බැලුවම ගොඩාක් දෙනා මේ අනිත්‍ය දන්නවා ඒත් පිළිගන්න කැමැත්තක් දක්වන්නේ අතලොස්සක් පමණයි.. ඔය අපි කියමනටත් කියන්නේ දැන දැන වැරදි කරනවා කියලා, ඉතිං ඔන්න ඔය වාගේ තමයි ‍වර්ථමානයේ ජීවත් වෙන මිනිස්සු, කිසිම අරමුණක් නැහැ තමන්ගේ ජීවිතයේ අවසානය මොකක්ද කියන එක ගැන, සල්ලි වලින් අනික් ආත්මයත් එක්කම සැපවත් කරන්න පුළුවන් කියන හැගීම ගොඩ දෙනෙක්ගේ හිත් වලා බැඳිලා ඉවරයි, සමහරෙක් හිතන්නේ, අද ජීවත් වෙන්න එපැයි හෙට ගැන හිතන්න, තවත් කෙනෙක් මැරෙන්න කලින් පුළුවන් ටික ඔක්කොම කලා ඉවර කරනවා! . මේන්න මේ ව‍ගේ නොයෙකුත් කතා නිතරම අහන්න දකින්න ලැබෙනවා, 


මුළු මිනිස් සංහතියම අද එක හැල්මේ දුවන ක්‍රීඩකයෝ පිරිසක් වෙලා හැම කෙනාම උත්සහ කරන්නේ එකෙක් පරයා අනිකා නැගී සිටින්න, ඊරිසියාව, වෛරය, ක්‍රෝධය හිත් වල අරක්ගෙන ඉවරයි, සාමය ගැන මොනතරම් කරුණු කාරණා දෙඩෙව්වත් හිත් ඇතුලේ කිසිම සාමයක් නැහැ, හිත හැම වෙලාවෙම ද්වේශයෙන් පිරිලා, ආගම ධර්මය ගැන අවබෝධයක් තියා හරියට දන්නේවත් නැහැ, ඒ අතරම තවත් සමහරෙක් ආගම ධර්මය තම කීර්තිය උදෙසා උකස් කරණවා, තවකෙක් සල්ලි වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මයම පාවා දෙනවා, නමට සිල් රෙදි ඇදගෙන සිල් ගන්න උපාසක, උපාසිකාවෝ අද මොනතරම් මේ රටේ ඉන්නවද? ශීලය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති ඒත් හතර පෝයටම සිල් ගන්න අපේ  කට්ටිය මම අනන්තවත් දැකලා තියනවා, රැල්ලට ගන්න සිල් ටික කාලයයි, ඒකනේ රැල්ල කියන්නේ, ඕනම දේකට රැල්ලත් ඇති වෙන්න පුළුවන්, ඒක හරියට අර කාලෙන් කාලෙට එන ඇඳුම් විලාසිතා වගේ, කාලෙත් එක්කම ඒවා ඔක්කොම වැලලිලා යනවා, සමහර දේවල් එහෙම තිබුනද කියන එකවත් කාටවත් මතක නැතිවෙනවා, ජීවිතයේ ඇත්ත වැටහෙන්න ගන්නකොට තමයි තේරුම් යන්නේ පෙරහැර ගිහින් ඉවරයි කියන එක, ඉතින් ජීවිතේ අන්තිම කාලේ විදවනවා, කොතෙකුත් මිළ මුදල් තිබුනත් ජීවිතේ සැදෑ සමය සතුටින් ගතකරන්න ක්‍රමයක් නැහැ, මොකද තමන්ගේම හෘදසාක්ෂිය තමන්ට වඳ දෙනවා මේවා මේ විදිහට වුනේ තමන්ගේම වරදින් කියලා,,, තමන්ට තිබුණු වගකීම් තමන් පැහැර හැරියා කියලා දැනෙන කොට හදවතට සැහැල්ලුවක් නැහැ, ඉතින් ජීවිතේ අවසාන දවස් කිහිපයත් මේ කියන කාරණා නිසා බොහෝම අපහසුවෙන් ගෙවිලා යනවා, මේ ශරීරය අතහැරුනු ගමන් තමයි තමන්ගේ හොද නරක පිහිට වෙන්නේ, ඉතින් හැමෝටම පොදු මේ සමානාත්මතාවය තුල ඔවුන් අසරණ වෙනවා, යාන වාහන මිල මුදල්, බලය, සේනාව තමන්ගේ තනියට ළග නැහැ කියලා තමන්ම තේරුම් ගන්නවා, ඒත් එක්කම තමුන්ට වැරදුනා කියන එක වටහාගන්න සමත් වෙනවා, වැටහීම ඇතිකරගන්නවාත් සමගම තමන්ගේ ඊලග නවාතැනට තමන්ව ඉබේටම තල්ලුවෙලා යනවා, මේක අපිට ඕන විදිහට පාළනය කරන්න බැහැ... පුළුවන් එකම දේ හොද සිහියෙන් බුද්ධියෙන් ඉන්න කාලය තුල ජීවිතය හදාගැනීම, 

    මොන දේ කලත් නොකලත් අපි මරණයට බයයි, කවුරු නැහැ කිව්වත් අවසානය ළගාවෙන කොට කොයි කාටත් ඒක දැනෙනවා, ජීවිතේ අපි ඇතිකරගන්න බැදීම් අවසානේදී අපිටම වේදනාවත් වෙනවා, බැඳීම් වැඩිවෙන තරමටම වේදනාවද වැඩිවෙනවා, අවසාන මොහොතේදී පවා තමන් කිසිම දෙයක් අතහැරයන්න සූදානම් නැත්නම් මරණයෙන් පස්සේ කෑදර කම නිසාම, අත්හැරීමට නොහැකිබව නිසාම අමුනුෂ්‍ය ආත්මක් හෝ ලබාගෙන මනුෂ්‍ය ජීවිත සමඟ පෑහෙන්න උත්සහ කරනවා, අද සමාජයේ මෙවැනි දෑ බහුලව දකින්න පුළුවන්, ප්‍රසිද්ධියක් නෙලැබුවාට අප්‍රසිද්ධියේ මෙවැනි දෑ නිසා අමාරුවේ වැටිලා දුක් විදින මිනිසුන් අපිට අනන්තවත් මුණ ගැහිලා තියනවා, තමාගේ මිය ගිය නෑදෑයා, එහෙම නැත්නම් හිතවතා, දෙමව්පියෝ, වෙනත් අදෘශ්‍යමාන ආත්ම වල ඉපදිලා තමන්ට කරදර කරනවා කියලා කියන මිනිස්සුන් අපි අතර කොතෙකුත් ඉන්නවාද? කට්ටඩියන්ට පුද පඩුරු දීලා මේ වගේ අදෘශ්‍යමාන බලපෑම් ඉවත් කරන්න කියලා කන්නලව් කරන මිනිසුන් කොතෙකුත් නම් ඉන්නවාද? , ජීවිතේ අවසාන කාලයේ තමන් කරපු පව් පිං මෙනෙහි වීමේ ප්‍රතිඵලයක් තමයි ඔය ප්‍රේත, යක්ෂ, කුම්භාණ්ඩ කිය කියා කියලා කොටස් කරගෙන ඉන්න අදෘශ්‍යමාන බලවේග. තමන් මරණ මංචකයේදී ඇතිකරගන්න තණ්හාව, ආශාව, වෛරය, හා කණස්සල්ල නිසා තමන්ට වෙන්න යන්නේ මොකක්ද කියලවත් මතක් කරගන්න තමන්ටම නොහැකි වෙනවා. ඉතින් මරණය  සිද්ධ වුනත්  හිත තවමත් මැරිලා නැහැ, ඒ කියන්නේ ශරීරය මැරිලා හිත තවමත් වල්මත් වෙලා. තමන් යන්න ඕන තැන කලින් සකස් කරගෙන නැති නිසා, අඟුපිල් වල ලඟින්න සිද්ධ වෙනවා, මේවා තමයි මම අර කලින් සදහන් කල අදෘශ්‍යමාන දුක්විදින ආත්ම, මේක දුකක් කියලා දැනගත්ත ගමන් උත්සහ කරනවා මේ ආත්ම වලින් මිදෙන්න ඒත් ප්‍රමාදය පසු තැවීමට හේතු වේ යන සංකල්පය මත මෙයින් අත්මිදීමට තමන් උපයපු දේ මෙහිදී  පරිහරණය කරන්න සිද්ධ වෙනවා, කිසිම දෙයක් රැගෙන යා නොහැකි මරණයේ රැගෙන ගිය එකම දෙය ඔවුන් එහේදී වියදම් කරනවා, ඒ පිං සහ පවු, නොහොත් තමන් නිතැනින්ම රැස්කල ගත් කර්මයයි..... 
(දෙවැනි කොටස පසුවට)

5 comments:

Anonymous said...

ඔයා ප්‍රබල ක්‍රිස්තු බක්තිකයෙක් නොවෙ සුසිත්..

අෂාන් රවීන් said...

Susith@ තමන්ගේ ආගම ගැනවත් හරිහැටි නොදැන ඒක ප්‍රචාරය කරන්න මේ වගේ පරපෝෂිත වැඩ කරන්න එපා! ආගමක් කියන්නේ මොකක්ද ඒකේ ඉගන්වීම් මොනව‍ගේද කියලා ඔයා හරියට අවබෝධ කරගන්න, මම ඔයාට දොස් කියන්නේ නැහැ මොකද ඔයා හරිම ළාමකයි!

Dileepa said...

මමත් රෝමානු කතෝලික..ඒ මගේ තාත්ත නිසා..මගේ අම්ම බුද්දාගමේ...ඉතින් මම පල්ලි පන්සල් යනවා..
ඇයි අපි අපේ රට ශ්‍රී ලංකාව වෙලත් බොරුවට ආගම වලට මරා ගන්නේ..මේ අපේ රට..එකී අපිට වැදගත්ම දේ..
යුද්ධෙදී අපේ කොල්ලෝ කොච්චරක් නැති උනාද..උන් හැම ජාතියකින්ම හිටිය...
නිකන් බයිල ගහන්නේ නැතුව ආගම මොකද්ද කියල දැනගෙන කතා කරන්න
මචන් අශාන් මන් බ්ලොග් ලිවිල්ලට අලුත්..පොඩ්ඩක් මේකත් බලපන්
http://dileepas.blogspot.com/

අෂාන් රවීන් said...

තමන්ගේ තේරුම් ගැනී‍මේ හැකියාව මත යම් යම් දේ තීරණය කරනවා, ඉතින් දිලීප ඔයාගේ මේ පිළිතුරෙන් මම තවත් මේ සම්බන්ධව ලියන්න පෙළෙඹුනා, ඔයා කිව්වා වගේම ආගම දැනගෙන තමයි දීලීප මම කතා කරන්නේ, මේතන කිසිම ආගම් භේදයක් සිද්ධවෙලා නැහැ, මොකද මම කෙනෙකුට උපදෙසක් දුන්නා පරපෝෂිත වැඩ නොකර ඉන්න, ඔයා වලිගය පාගාගන්න එපා, ආගමකට අරුතක් තියනවා අන්න ඒ ගැන හිතන්න, උත්සහ කරන්න විවෘතව දකින්න, මේ ලෝකේ අපේ අපේ කියලා අල්ලා ගත්තට මේකේ ඇති දෙයක් නැහැ... . ඔයාගේ බ්ලොග් කෙරුවාවට මම සුභ පතනවා දිගටම ලියන්න!...

ayesha said...

මොන දේ කලත් නොකලත් අපි මරණයට බයයි,

ඒක නම් ඇත්ත