සල්ලි වෙනුවෙන් කැපවෙනු!

මිනිසත් කමට හැමදාමත් හේනේට ඉන්න සල්ලි. හැමදාමත් කරන්නේ මිනිසුන්ගේ මිනිසත් ගති නැති කරගන්න උදව් වෙන එකනේ. ඒත් ඇත්ත කතාව නම් සල්ලි නැතුව කරන්න පුළුවන් ඉටිගෙඩියකුත් නැහැ කියන එක, ඒක නිසා මිනිස්සු විදියට ඉපදිලා මිනිසත් කමින් කාටවත් අතනොපා ජීවත් වෙන්න ඔය කියන දෙයියන්ගේ මල්ලිත් ඕන වෙනවා, මේච්චර මේ වැල් වටාරම් දොඩවලා අවසානෙට දොඩන්න හදන්නේ අද හවස මගේ ඇහේ හැප්පුන පුන්චි දුක හිතෙන කතාවක්. මේකට කතාවක් කිව්වම හිතන්න එපා නවකතාවක් කියලා ඒත් ‍මේක පුංචි කෙටි කතාවකට උනත් බීජයක් කරගන්න දක්ෂයෙකුට පුළුවන්, 

     සිද්ධිය සැකෙවින් මේසේමය, මම හවස ටියුෂන් එක ඉවර කරලා ගෙදර එන්න පිටත් වුනා ඒ එන අතරමගදි ‍තේකක් බොන්න ළග කඩයකට ‍සෙට් වුනා. නිකම්ම තේකක් බොන එකේ කොලිටියකුත් නැති හින්දා කඩේ මුදලාලිට කියලා තෝසේ 2 ක් 3ක් එහෙමත් ගෙන්න ගත්තා.(මුදලාලි කිව්වට මේ හාදයා මටත් වයසින් බාල නියම කොල්ලෙක්)  කොල්ලා තොසේ ටිකත් මට දීලා කඩේට ඕන කරන බඩුවගයක් ගේන්න ටවුන් ගියා, කඩේට පාත් වුනු වෙලාවේ ඉදලම මගේ ඇහේ දැවටුනු එක චරිතයක් තිබුනා, ඒ පුංචි කෙලිපැටික්කියක්, හරීම ඈලි මෑලි ගතියෙන් කඩේ පුරාම එහේ මෙහේ ඇවිදිනවා, (වයස අවුරුදු 3-4ක්) මේ පුංචි කෙල්ල මගේ දිහා ඔරවලා බැලුවා, ඒත් මම විහිළුවට වගේ මොකද කියලා ඇහුවා, ම් හ් , නො ආන්ස්වර්, මම ආයෙත් කතා කලා, කෙල්ල මාව ගනන් ගන්නැතුවම ගියා,
 මට සිද්දියට ටිකක් අවුල්, ඒත් තෝසේ එක අතහැරියෙත් නැහැ. ටිකක් වෙලා ගිහින් අපේ මුදලාලි මලයාගේ හාමිනේ කඩේ වැඩට උදව් වෙන්න ආව, කොල්ලත් ටවුන් එකේ ඉදලා කඩේට ආව, ඉතින් දෙන්නම කඩේ වැඩ, නිවනක් නැහැ, අර පුංචි කෙල්ල තනියම එහේ මෙහේ යනවා මොනවදෝ කිය කිය, මේ කඩේ අපේ භාෂාවෙන් කිව්වොත් නයිට් කඩයක්, ඉතින් මහ රෑ වෙනකල් වැඩ, අර මම කිව්ව පුංචි කෙල්ල තමයි මේ කඩේ මුදලාලිගෙයි හාමිනේගෙයි දුව, ඉතින් අම්මයි තාත්තයි දෙන්නම කඩේ වැඩට හිර වෙලා නිසා දුව ඔහේ තනියම ඇවිද ඇවිද ඉන්නවා, මේ කෙල්ල අම්මට තාත්තට එක එක දේවල් කියනවා, ඒත් එයාලට ඒ දේවල් අහගෙන ඉන්න තරම් නිවනක් ‍ නැහැ, ජිවිතේ ජීවත් කරවන්න එයාලා එක හුස්මට මහන්සි වෙනවා, මේ අතර එයාලගේ ළමයි ගැන බලන්න තියෙන වෙලාව එයාලට මඟ හැරෙනවා,  මේ නීතියට මේ පවුලත් අහුවෙලා අර අහිංසක කෙල්ල අන්තිමට අඩනවා, ඒත් අම්මට තාත්තට විවේකයක් නැහැ ඒ දරුවව නලවන්න, කෙල්ල බැරිම තැන කෑ ගහලා ඇඩුවා, ඔන්න ඒ වෙලාවෙනම් අම්ම ඇවිත් කම්මුලට පහරක් ගැහුවා, ඒ පාර කෙල්ලගේ සද්දේනම් අඩු වුනා හැබැයි කෙල්ලගේ හිතට ඒක මොන විදිහට බලපෑවද කියලනම් මේක කියවන අපි ඔයාලා හැමෝටම හිතෙන්න ඇතිනේ නේද? 

සල්ලි හම්බකරන්න කියලා ජීවිතේ හැමදේම කැපකරන මිනිස්සු ඕන තරම් අද සමාජයේ ඉන්නවා, මේ අම්මයි තාත්තයි නිදිමරාගෙන සල්ලි හොයන්නේ දරුවගේ ජීවිතය යහපත් කරන්න කියලා අපි දන්නවා, ඒත් මේ පුංචි දැරිවිට ඒක තෙරුම් ගන්න තරම් ශක්තියක් කොහින්ද? කෙල්ලගේ හිතේ ඇදෙන චිත්‍ර අදහස් මොනවගේ වෙයිද කියලා කාටද කියන්න පුළුවන්, ජීවත් වෙන්න සල්ලි ඕනේ, එත් ජීවිතේ කියන්නේ සල්ලිම විතරක්ද? සල්ලි වලින් ජීවිතයක් ගන්න පුළුවන්ද(අද කාලේනම් ඒකත් වෙයි), අම්මලා තාත්තලා ළමයිගේ අනාගතේ වෙනුවෙන් සල්ලි හම්බකරන්න මහන්සි වෙද්දී, කොතෙකුත් දරුවො නොමඟට යොමුවෙලා තියනවද? හරි කළමණාකරණයක් නොමැති කම නිසා, අද පාසල් වල පවා නොසිතු වීරූ දේවල් මොනතරම් අහන්න ලැබෙනවද? විශේෂයෙන් ගැහැණු ළමයි කොතෙකුත් ඔහුන්ගේ ජිවිත අකාලයේ විනාශ කරගෙන තියනවද? අම්මලාගේ ආදරය, තාත්තගේ රැකවරණය නැතිව ජීවිත කීයක් අද ඔත්පල වෙලා තියනවද? මේ දෙවල් එකින් එක අමුතුවෙන් මතක් කරන්න ඕන දේවල් නෙමෙයි, අපේ අනාගත පරපුර මෙවන් විපතකින් බේරාගත හැක්කේ දයාබර අම්මේ තාත්තේ ඔබගේම උත්සහායෙන්ම පමණයි!




4 comments:

ඉෂාර ගුණවර්ධන said...

ඔය කථාව ඇත්ත මල්ලි. මමත් අනන්තවත් දැකලා තියෙනවා ඔය අම්මයි තාත්තයි කඩ කරන තැන් වල ළමයි විශේෂයෙන් පුංචි ළමයි හරිම අසරණ වෙනවා. මේ කථාවෙ දෙපැත්තකි තියෙනවා. ඒ ළමයාගේ අනාගතය සරු කරන්නනම් අර දෙමව්පියෝ සල්ලි හම්බ කරන්න ඕනෙ තමයි. ඒත් ඉතින් සල්ලි කියන්නෙ ජීවිතේම නෙමෙයි. විශේෂයෙන් දරුවො ගැන හොයලා බලන්න ඕනෙ.

Ashan said...

ඉෂාර ගුණවර්ධන @ ඔබතුමාගේ කතාව ඇත්ත! ඒත් දරුවන්ව සල්ලිවලින්ම ජීවත් කරවන්න බැරි බව එයාලා තේරුම්ගන්න ඕන නේද? ...ස්තුතියි!

ayesha said...

අනේ මන්දා යාළු. හුඟාක් අය හිතන් ඉන්නේ ජීවිතේ කියන්නේ සල්ලි කියලා. ඒ හින්දා මැරෙනකම්ම සල්ලි පස්සේ දුවනවා

Ashan said...

ayesha @ ඔයාගේ කතාව හරි අයේෂා. ඕය නිසාමයි අද අපිට මේ වගේ දේවල් අහන්න දකින්න ලැබෙන්නේ!