A/L වලින් පස්සේ මොනවද කරන්නේ....?

පාසල් ජීවිතය ගැන නොයෙකුත් අත්දැකීම්  අපි හැමෝටම තියනවා, මේකත් ඒ වගේ දෙයක්, පුංචි කාලේ නම් පාසැල ගැන කිසිම ආදරයක් ගෞරවයක් හිතේ නොතිබ්බත්, යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට එද්දී බොහෝ දෙනෙක් පාසලට නොයෙක් ලෙස ආදරය කරන්න සහ ගෞරවයෙන් සලකන්න පටන් ගන්නවා, මේ කාලයේදී පාසල තමා තමන්ගේ පාසල කියන හැඟීම ළමයින්ට එන්නේ, ඉතින් ගුරුවරු කිව්වත් නැතත් පාසලට විය යුතු යුතුකම් බොහොමයක් පාසැල් සිසුන් අතිනුත් සිද්ධ වෙනවා, ඒ වගේම පාසල් අවසාන කාලයේ ඒ කියන්නේ අපේ අ.පො.ස උ/පෙළ කාලෙදී ළමයින්ගේ තියෙන්නේ පුදුම එකමුත් කමක් අඩුම තරමේ වැරැද්දකදීවත් අනිකාව පාවා දෙන තැනට වැඩ කටයුතු කරන්නේ නැහැ, එහෙම කරත් කරන්නේ මෙලෝ වැඩකට නැති එකෙක්....  මේ වගේ බොහොම එකමුතුවෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කරන කාලයේ ළමයින්ගේ හිත් වල නොයෙකුත් විදියේ ගැටළු පැන නගිනවා, තරුණ වියට ළගා වීමත් සමඟම හිත්වලට නැගෙන මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න බොහෝ දෙනෙක් තම තමන්ගේ හුඟක් හිතවත් ගුරුවරුන් වෙත නිරායාසයෙන්ම යොමු වෙනවා.... 


                    මෙන්න මෙතනදී ගුරුවරු බොහෝ දෙනෙක් ඒ ළමයිගේ ප්‍රශ්ණ සම්බන්ධව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ, බොහෝ දෙනෙකුගේ පිළිතුර වෙන්නේ, “ම්... දැන් විභාගෙට දවස් කීයද? ඔය මනස්ගාත අතහැරලා දාලා පාඩම් කරන්න.....“  ගොඩක් වෙලාවට ගුරුවරුන් හිතන්නේ මේ වයසේ ළමයින්ට ඇති වන ප්‍රශ්ණ බොහොමයක් කිසිම වැදගැම්මකට නැති ප්‍රශ්න විදිහටයි, මේ හේතුව නිසාම ළමයින් වෙන ආකාර වලින් මේ ගැටළු නිරාකරණය කරගන්න යොමු වෙනවා, සමහර විට මේවාගේ ප්‍රතිඵල බොහෝම දරුණු ඒවා වීමටද පුළුවන්, එසේ වූ අවස්ථාද එමටය... ළමයෙක් විදිහට ඔවුන්ට ඇතිවන ගැටළු සම්බන්ධව කතා කිරීමට පාසල තුල වුවද යම්තාක් දුරට හෝ ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතුය, එසේ නොමැති වුවහොත්  දරුවාගේ අධ්‍යාපනය කෙරෙහි බලපෑම් ඇති කිරීමට එම කාරණය ඉවහල් වීටම පුළුවන,  

                 අනික් කාරණය වන්නේ, උසස් පෙළ අවසාන කිරීමෙන් පසුව ළමයින්ට මොකද වෙන්නේ කියන කාරණය, සමහරෙක් නැවත වරක් විභාගයට පෙනී සිටීමට සූදානම් වෙනවා විය හැකිය, කොහොමින් කොහොම හරි කැම්පස් මිස් වුනයි කියමුකෝ . ඊට පස්සේ අපේ ළමයින්ට මොකද වෙන්නේ, පාසැල තුලින් ඒ ළමයින්ට යන්න පුළුවන් උපරිම දුර උසස් පෙළ විතරද? දරුවෙකු බිහි කල අම්මට මැරෙනකල්ම දරුවව අයිති නම්, දරුවෙකු යහමගට ගන්න සමාජයට යොමුකරන්න වෙර දැරුව පාසලට ඒ දරුවගේ අයිතියක් නැතිද? මම හිතන්නේ පාසැල තමයි ළමයාව සමාජගත කරන්නේ ඉතින් එතනදී ඒ ළමයාට ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ආදරය කරුණාව නිවැරදිව ලැබුනේ නැත්තම් ඒ ළමයා නොමඟ යන්න තියන අවස්ථාව වැඩියි. ඒ වගේම පාසැල් කාලයෙන් පස්සේ, සමාජය තුල තම අධ්‍යාපන කටයුතු කරගෙන යා යුතු ආකාරය හා ඔවුන් රැකියා සදහා යොමුවිය යුතු ආකාරය සම්බන්ධව පාසල තුලින් යම් කිසි දුරකට හෝ අත්වැලක් ලැබෙනවානම් එය ළමයින්ගේ ජීවිතය ජයගන්න මහත් රුකුලක් වෙයි කියලා මම හිතනවා, 

                 අද සමාජයේ ගොඩාක් ළමයින් ඉන්නවා උසස් පෙළ හොදින් සමත් ඒත් රැකියා නැති, තවත් සමහරු සාමාන්‍ය පෙළ සමත් ඒත් ඊට එහා අධ්‍යාපනයක් ලබලා නැති, ඉතින් මේ වගේ පිරිසක් සමාජය තුල බිහිවන්නට හේතුව කුමක් විය හැකිද? නිවැරදි මඟපෙන්වීමක් තිබුනනම් මේ ළමයිනුත් අද හොඳ රැකියාවක හෝ තමන්ගේම ව්‍යාපාරයක උරුම කරුවන් නොවන්නේද? මෙවැනි ගැටළු රාශියකට පිළිතුරක් සෙවීම ලේසි පහසු කාරණයක් නොවේ, ඉදින් එක් අදහසක් ලෙස පාසල තුලින්ම ළමයාට ලබා දිය හැකි එක් අරමුණක් තිබේ, එනම් උසස්පෙළ කඩඉමෙන් පසුව ඔවුන්ගේ අධ්‍යාපනය කරගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම නිවැරදි ලෙස පාසල තුලින්ම ලබාදීම, මේ සදහා අදාල ගුරුවරුන්ද දැනුවත් කිරීම බොහෝ සෙයින්වැදගත්වේ, ඊට හේතුව වනුයේ අවසන් කඩඉමෙන් පසු ගුරුවරු ළමයින් ඉදිරියේ මවන එකම සිහිනය වන්නේ විශ්වවීද්‍යාලය පමණක්ම වීම,  එකම සිහිනය අහිමි කරගත් ළමයින් තමුන් ජීවිතයද පරාජය වුවා සේ මානසිකව පීඩාවට පත්වේ, මේ මානසික පීඩාව අවම කර ජීවිතය ඉදිරියට ගෙන යා හැකි අනෙකුත් මාර්ග පිළිබඳවද ළමුන් දැනුවත් කර තැබීම කාලෝචිත නොවන්නේද........? 






2 comments:

හිරුහිමාවී said...

අනිවාරෙන්ම එසේ කල යුතුමයි.නැත්තම් එකපාරම ජිවිතේ කොයිපැත්තටද හරවන්නේ කියල හිතාගන්න බැරුව යනවා..

ishara said...

I aggre with you..